සත්ත්ව ඝාතනය සහ අපරාධය

සියලු සත්ත්වයෝ පවතින්නේ ආහාරය නිසයි. එනිසාම බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරාට්ඨිතිකා” යනුවෙන් දේශනා කළ සේක. උපන් සත්ත්වයාගේ පැවැත්ම පිණිස ද, ඉපදීම අපේක්‍ෂා කරන සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස ද ආහාර අවශ්‍ය බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් “ආහාර සූත්‍රයේත්” එම සංයුක්තයේම මහා වග්ගයේ එන “පුත්ත මාංස සූත්‍රයේත්” ඉතා පැහැදිළිව සඳහන් වන්නේය.

ඊට අමතරව උසස් මනසක් ඇතැයි අර්ථය ලත් මිනිසාටත්, තිරස්ව ගමන් කරන අර්ථය ලත් තිරිසන් ගත සත්ත්වයාටත් පොදු වූ මූලික අවශ්‍යතා සතරක් ඇත. ආහාරය, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම හා මෛථූන්‍ය එම මූලික අවශ්‍යතා සතරයි. ඉන් පළමුවැන්න වන්නේ ද ආහාරයයි. ආහාරයෙන් සිදුවන්නේ සත්ත්වයාගේ සා පිපාසාවන් සංසිඳුවීමයි.

සත්ත්වයාගේ සා පිපාසාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොතරම් සැලකිල්ලක් දැක්වූවාදැයි කිවහොත්, උන්වහන්සේ කුසගින්නෙන් පෙළෙන්නන්ට කුසගිනි නොනිවා ධර්මය දේශනා නොකළ සේක. පළමුව කුසගිනි නිවාලීමට කටයුතු කළ උන්වහන්සේ දෙවනුව ධර්මය දේශනා කළ සේක. මේ බව වඩාත් පැහැදිලි වන ගාථා පාඨයන් ධම්ම පදයේ සුබ වග්ගයේ සඳහන් වේ. ඒ අනුව පැහැදිළි වන්නේ ලොව ඇති අන් සියලු රෝගවලට වඩා දිනකට දෙතුන් වතාවක් අපට පීඩා කරන්නේ කුසගින්නයි. කුසගින්නට හේතුව ආහාරපානයි.

ඉහත සඳහන් කළ “ආහාර සූත්‍රයට” අනුව ආහාර වර්ග සතරක් ඇති බව බුදු හිමියන් දේශනා කළ සේක. කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාණ ආහාර එම ආහාර සතරයි. විශුද්ධි මාර්ගයේ සමාධි නිර්දේශයට අනුව “කබල කොට ගිලිනා අර්ථයෙන් කබලිංකාරාහාරයයි” කියති. එනම්, බත් හා ව්‍යාංජන ආදිය උයා පිහා අනුභව කළ යුතු බැවින් ඒවාට කබලිංකාර ආහාර යැයි කියනු ලබයි.

ඒ අනුව කබලිංකාර ආහාර යනු අපි එදිනෙදා ජීවිතයේදී කන බොන සියලු දේවල් ය. මහා භූ®ත රූපයන්ගෙන් තැනුණු පංච ඉන්ද්‍රියයටත්, එම ඉන්ද්‍රිය පාලනය කරනු ලබන මානසික ශක්තියටත් ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥා ලබා දෙන්නේ ආහාර පානයන්ය.

බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ, සත්ත්වයා ඉතා දිගු අතීතයක සිට පැවත එන බවයි. මෙකී සත්ත්වයන් වූ කලී පංච උපාදානස්කන්ධය හෙවත් නාම රූප දෙකයි. මෙම නාම රූප දෙක එතරම් ඈත අතීතයක සිට වර්තමානය කරා පැමිණෙන්නේ කෙලෙස් ද කද මලු බැදගෙනයි. විභංග ප්‍රකරණයේත්, දීඝ නිකයේ සඳහන් බ්‍රහ්මජාල සූත්‍රයෙත් එබඳු කෙලෙස් 1510 ක් ඇති බව මහාචාර්ය රේරුකානේ චන්දවිමල ස්වාමිපාදයාණන් වහන්සේ විසින් රචිත “කෙලෙස් එක්දහස් පන්සියය” නමැති කෘතියේ සඳහන් වේ. ඉහතින් සඳහන් කළ මිනිසාටත් තිරිසන් ගත සත්ත්වයාටත් පොදු අවශ්‍යතා සතර මෙම කෙලෙස් එක්දහස් පන්සියය හා බැඳී පවතී. ඒ නිසා ආහාරය මත ජනිත වන රස තෘෂ්ණාව ද මෙම කෙලෙස් තුළම රැඳී පවතී.

ලොව පවතින සෑම දෙයක් ම ආස්වාද හා ආදීනවවලින් යුක්තය. බුදුවරුන් ලොවට අටලෝදහම දේශනා කරනුයේ මෙය පසක් කර වීමටය. ආස්වාදයේ ළාමක බවත්, ආදීනවයේ භයංකාර බවත්, බුදුදහමේ නිතර සඳහන් වේ.

Read more

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14697

Leave a Reply